තරු ගොසිප්

මට තාම 24යි, දැන්ම ඕවා ඕනේ නෑ, පෙම්වතෙක් එන වෙලාවට ඒවි – ශනුද්‍රි ප්‍රියසාද්

‘ප්‍රියසාද්’ පවුලේ දඟකාර හැඩකාර ‘ශනුදි’ හෙවත් ‘ශනු’ කියන්නෙ රැඟුම, ගැයුම සහ නර්තනයට එකසේ දක්ෂතා පෙන්වන තාරුණ්‍යයේ අපට සිටින දක්ෂ ශිල්පිනියකි. මේ දිනවල ඇය අපට හමුවන්නේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ‘ජයප්‍රකාශගේ සිවගුරුනාදන් අධ්‍යක්ෂණයෙන්, සුධර්මා ජයවර්ධන නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ‘කොළඹ ඉතාලිය’ නාට්‍යය ඔස්සේය. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන ‘තාදි’, හිරු ටී වී ඔස්සේ විකාශය කෙරෙන ‘දිවිතුරා’ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන, ‘ගමනේ යා’ නාට්‍ය සමග හැඬකාර ‘ශනු’ අපට හමුවෙනවා. ‘කොළඹ ඉතාලිය’ නාට්‍යයේ රූගත කිරීම් සිදු කෙරෙන දර්ශන තලයේ දී ‘ශනු අපට හමුවුණේ මේ විදියටයි.

‘ශනුද්‍රි’ ඉතින්, ඉතින්?

මේ දිනවල ටිකක් හොඳයි. මම හොඳින් කාර්ය බහුලයි.

 

‘ශනු’ ව ලෙහෙසියෙන් අල්ලා ගන්න බැහැ කියලයි බොහෝ දෙනා කියන්නේ ? නිතරම ෆෝන් එක බිසී නේද?

එහෙමම නැහැ. රඟපාන වෙලාවට කොහොමටත් මම ෆෝන් එකට යන්නෙ නැහැ.

 

එතකොට කා එක්ක ද මෙච්චර කතා කරන්නේ ?

මට ඉතින් යාළුවෝ ගොඩාක් ඉන්නවා. විශේෂ කවුරුවත් නැහැ. ඒ යාළුවෝ එක්ක තමයි කතා කරන්නෙ.

 

කොළඹ ඉතාලිය, දිවිතුරා, තාදි, ගමනේ යා මේ චරිත අතරින් ශනු වඩා කැමැති චරිතය ගැන කියමු.

මේ නාට්‍ය හතරෙම මම රඟපාන්නෙ එකකට එකක් වෙනස් චරිත. කොළඹ ඉතාලි​යේ මම රඟපාන්නෙ ටිකක් ‘චණ්ඩි’ චරිතයක්. දිවිතුරා එකේ. තාත්තා නැති, අම්මා සහ සීයා තාත්තා එක්ක හැදෙන අහිංසක ගැහැණු ළමයකුගේ චරිතයක්. ලොකු බලාපොරොත්තු හීන එක්ක ජීවත්වන තරුණියක්. ‘ගමනේ යා’ ටෙලි නාට්‍යයේ යුද හමුද‌ා සෙබලකුට ආදරය කරන තරුණියක්. ‘තාදි’ එකේ තවත් වෙනස් චරිතයක්. මේ සෑම චරිතයකටම මම හරි ආසයි.

 

මේ චරිත අතරින් ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ?

වැඩියෙන්ම නම් දිවිතරා ඊෂාට සහ කොළඹ ඉතාලියෙ චණ්ඩි කෙල්ල වූ ඇන්ඩ්‍රියාට. අනික් ඒවාත් ආදරයෙන් වැළඳගෙන ඇති බව පෙනෙනවා. මේ නාට්‍ය ඔක්කොම රූගත කරන්නෙ කොළඹ නෙවෙයි. කොළඹ වගේම කොළඹින් පිට නුවරඑළිය වගේ පළාත්වලටත් යන්න වෙනවා. ඒ වෙනසට මම ආසයි. ඒක අත්දැකීමක්.

 

මේ විදියට විවිධ පාළාත්වලට යාමට වීම නිසා මහන්සියක් නැද්ද? අසීරු නැද්ද?

අමාරුයි තමයි. ඒත් වැඩක් බාරගත්තාම ඒ නිර්මාණයට සියයට සීයක්ම සහයෝගය කැපවීම දෙන්න ඕනෑ. ඒ නිසා මහන්සි නොබලා වැඩේ කරනවා. ඒ අතරේ ඉඳහිටලා විවේකයක් ගන්නවා.

 

ඒ විදියට විවේකයක් ගත්ත දවසට?

එද‌ාට හොඳට නිද‌ා ගන්නවා. මොකද ෂූටිං තියෙන දවස්වලට උදේ පාන්දර හතරට විතර ලොකේෂන් එකට යන්න වෙනවා. ගෙදර ඉන්නකොට අම්මා, තාත්තා, අක්කලා එක්ක කාලය ගත කරනවා. එක්කෝ මොනවා හරි කෑමක් හදනවා. ඒ වගේ තමයි ඉතින්. මම වැඩියෙන්ම ආසා කරන්නෙ ගෙදර ඉන්න.

 

ළඟදි හදපු රසම කෑම මොකක්ද?

අපේ ගෙදර අය මම හදන ‘බටර්’ කේක් කන්න ආසයි. ළඟදී හැදුවේ බටර් කේක් එකක්.

අද දවසේ ‘ප්‍රියසාද්’ පවුලේ උදවිය ලොකු සතුටකින් ඉන්නෙ කිව්වොත් හරි නේද?

ඔව්, ඇත්ත.

 

පවුලට එක්වෙන්න යන මේ අලුත් අමුත්තා ගැන ගෙදර අය මොනව ද කියන්නේ ?

අමුත්තෙක්ද අමුත්තියක්ද දන්නෙ නැහැ. හැබැයි ඒ කොහොම වුණත් අපි ඔක්කෝමලා දින ගැන ගැන බලාගෙන ඉන්නෙ. ඒ පුංචි සාමාජිකයා එනකල්.

 

දැන් එතකොට ‘ශනුද්‍රි’ පුංචි කෙනෙක්?

ඔව් තව මාස කීපයකින්. මම චූටි පුංචි. ශේෂාද්‍රි අක්කා ලොකු පුංචි

 

අපිත් එහෙනම් ‘ශනු’ ට පුංචි කියන්නද?

පොඩි ළමයි මාව දැක්කාම ‘ආන්ටි’ කියනවා. ඉතින් එහෙව් එකේ කමක් නැහැ. ‘පුංචි’ කියන්නකො. අවුරුදු පහේ හතේ වගේ අය ‘ඇන්ටි’ කියලා කතා කරන්නෙ.

 

‘ශනු’ දැන් ඉගෙනීම් ඉවර කරල ද?

මම කළේ අලෙවි කළමනාකරණ අංශයේ උපාධියක්. දැන් උපාධිය කරලා ඉවරයි. එතැනින් එහාට ‘මාස්ටර්ස්’ එක පටන් ගන්න ඕනෑ. ඒත් මේ වැඩ එක්ක පටලවා ගන්න කැමැති නැහැ. වෙලාව හද‌ාගෙන මාස්ටර් එක කරන්න ලැහැස්ති වෙනවා.

 

කොහොම වුණත්, කලාවෙ වැඩ ගොඩාක් කරන නිසා හොඳ ආර්ථිකයකුත් ඇති නේද?

මෙහෙමයි ලැබෙන සෑම වැඩක්ම මුදල්ම බලාගෙන නෙවෙයි කරන්නෙ. ඒත් රංගනය වෘත්තිය නිසා ආර්ථිකයත් එකතු වෙනවා. ඒවා එකතු කරන්න එහෙම බලනවා. හැබැයි ඒ ඔක්කෝම මම අපේ අම්මාට බාර දීලා තියෙන්නෙ. අධ්‍යාපන කටයුතු සියල්ල මගේ වියදමින් කරගන්න ඕන කාලය ඇවිත්. අම්මා තාත්තාට කරදර කරන්න බැහැනෙ.

 

අක්කලා දෙන්නම ශනු අමතන්නෙ කොහොමද?

පොඩි අක්කාට කියන්නේ ‘ෂැඩෝ’ කියලා. ලොකු අක්කා දිනාක්ෂිට කියන්නෙ ‘ලොකු’ කියලා.

ලොකු සහ ෂැඩෝ ගෙන් පසුව ඊළඟට විවාහ ලිස්ට් එකේ ඉන්නෙ ශනු?

අපෝ මට තවම 24 නෙ. දැන්ම ඕවා ගැන හිතන්න බැහැ. මගේ වෘත්තිය ජීවිතය හරියටම ආරම්භ කරලා තියෙන්නේ දැන්. ඒ නිසා මුලින්ම වෘත්තියෙන් ස්ථාවර වෙලා ඉන්න ඕනෑ. අධ්‍යාපනය තවම ඉවර කරලත් නැහැනේ. පෙම්වතෙක් එන වෙලාවට ඒවි. දැනට මට ගෙදරින්, යාළුවන්ගෙන්, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය දැනට හොඳටෝම ඇති.

කොහොමද ඉදිරි ප්ලෑන්?

මම එහෙම ලොකුවට ප්ලෑන් ගහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. එද‌ාට කරන්න ඕනෑ දේ සහ බාරගත් දේ උපරිමයෙන් හොඳින් කිරීම තමයි අරමුණ.

 

චරිත කීපයක්, එක්වර රඟපාද්දි දෙබස් මතක තියාගන්නෙ කොහොම ද?

ඒක මට දැන් හුරුවෙලා. වෙලාවකට මාත් ඒ ගැන හිතනවා. මට හරි ඉක්මනට දෙබස් මතක හිටිනවා, වගේම චරිතයටත් ඉක්මනට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ ගැන මට සතුටුයි. එහෙම පුළුවන් වීම ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙන්නෙ.

 

දක්ෂතම නිළිය සම්මානයට ද ආස? ජනප්‍රියම නිළිය සම්මානයටද?

එහෙම විශේෂත්වයක් මට නැහැ. දක්ෂතම, නැගී එන ඒ වගේ සම්මානවලට ආසයි.

කොහොමද මස්සිනාලා දෙන්නා? ඒ දෙන්නාගෙන් කවු ද වඩා සමීප?

අනේ දෙන්නම හරිම හොඳයි. දෙන්නම මට හරි ආදරෙයි. මගේ සෑම දෙයකටම ඒ දෙන්නා සහයෝගය දෙනවා. අක්කලා දෙන්නාට වඩා මම හිතන්නෙ ඒ දෙන්නා එක්ක මම හරිම සමීපයි. අක්කලාට නොකියන දේ පවා මම එයාලා දෙන්නට කියන තරමට අපි හොඳ යාළුවෝ වෙලා. ප්‍රශ්නයක් වුණත් මම එයාලට කියනවා. ඉතින් මට හරි ආඩම්බරයි. මට හොඳ අයියලා දෙන්නෙක් වගේම අක්කලා දෙන්නෙක් සිටීම ගැන. ඒක මට ලොකු ශක්තියක්.

මස්සිනා අයියලා දෙන්නා ශනු නංගිට තෑගි එහෙමත් ගෙනැල්ලා දෙනවා ඇති?

එහෙම නිකං ගෙනැල්ලා දෙන්නෙ නැහැ. උපන්දිනයක් වගේ දවසකදී තමයි ඒවා ලැබෙන්නෙ. හැබැයි නිතරම මට තෑගි දෙන්නෙ ලොකු අක්කා.

ලොකු මස්සිනා, ‘සාරංග’ වෙතින් දකින හොඳම ගුණාංගය මොකක්ද?

එයාට ඉතා හොඳ තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්නේ. කෙනෙක් දිහා බලලා එයා ගැන හරියටම කියන්න පුළුවන් දැක්මක් එයාට තියෙනවා. මම කරන දේ දිහා බලාන ඉඳලා කළ යුතු නොකළ යුතු දේ ගැන එයා කියා දීලා තිබෙනවා. එයා ඕනෑම දෙයක දී පැත්තක් නොගෙන තීරණ ගන්න කෙනෙක්.

එතකොට ක්‍රිෂාන් මස්සිනා?

එයා හරිම විවෘත කෙනෙක්. හරිම මිත්‍රශීලි කෙනෙක්. දෙන්නම ඇත්තටම හරි හොඳයි.

ලොකු අක්කට දැනගන්න මේ වෙලාවෙ ශනු ට මොනවද කියන්න තියෙන්නෙ?

එයාට මම නිතර කියන දෙයක් තමයි. එයා ගැන මම හරිම ආඩම්බර වෙනවා කියන දේ. එයා එයාගේ ජීවිතේ පොඩි කාලයේ ඉඳලා මුහුණ දුන්න විදිය ආදර්ශවත්. පුංචි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නේ. ඔයාගෙ පුංචි අමුත්තා අරන් ඉක්මනට එන්න අක්කේ’ කියලා තමයි කියන්න තියෙන්නේ.

 

ෂැඩෝ ටත් මොනවා හරි කියමු?

එයාටත් ගොඩක් ආදරෙයි. ඉක්මනට විවාහ වෙලා ආයෙත් මාව පුංචි කෙනෙක් කරන්න කියලා තමයි එයාට කියන්න තියෙන්නෙ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

Leave a Reply

Your email address will not be published.

Back to top button